Sunday, September 28, 2014

තුන් යහළු වික්‍රමය - කුලසේන ෆොන්සේකා...

හත්වන දිගහැරුම...

පෑනේ මිතුරන් තිදෙනෙකු වූ සුනිල්,රුවන් සහ අජිත් උසස් පෙළ විභාග කඩඉම හමාර කිරීමෙන් අනතුරුව මහනුවර රුවන්ගේ නිවස්නයේ දී යලිත් මුණ ගැසෙති...

පසු දිනෙක ඔවුන් අසල පිහිටි සුන්දර දිය ඇල්ලක මිහිදුම් සළු අතරේ කිමිදීමට යති...

එහි වූ කව්රුන් හෝ විසි කර තිබු පුවත් පත් කොටසක් නිකමට මෙන් කියවන ඔවුන්,නිදන් හොරුන් කණ්ඩායමක් අසල ගමක සිදු කරන ලද පුපුරවා හැරීමක් පිලිබඳ පුවතක් දකියි...

පසු දිනම මේ තිදෙනා ඒ ඉසව්ව සොයා යයි...

ඉනික්බිතිව තිදෙනාට සිදුවන්නේ කිසි ලෙසකින් වත් අපේක්ෂා නොකළ අත්භූත සිදුවීම් දාමයකට මුහුණ දීමටය...

ඕලන්ද යුගයේ ඉපැරණි කාසි,ත්‍රාසජනක ලුහුබැඳීම්,සිරගත වීම්,තුන් කුළුදුල් බිළිඳෙකු සහ දරුණු නිදන් හොරුන් අතරට මැදිවන වන මේ තුන් යහළුවන්ගේ කතාව නිසැක වශයෙන්ම ඔබේ ළමා කාලය ඉතා සුන්දර එකක් කරන්නට ඇති...

Saturday, September 20, 2014

Five Point Someone - Chetan Bhagat

සයවන දිග හැරුම...

ඔබ 3 Idiots හින්දි සිනමා සිත්තම නරඹා ඇති.එහෙත් ඒ සඳහා පාදක වූ ඒ අපුර්වතම අකුරු ඇමිණුම ඔබ කෙදිනක වත් කියවා නැතුවා වන්නට පුළුවන්. ඉදින් මේ ඒ ගැනයි.

ඒ ඉන්දියානු තාක්ෂණික විද්‍යයතනයයි.( Indian Institute of Technology IIT ).

දිනෙන් දින වෙනස් වන තාක්ෂණික ලෝකයේ ජය කෙහෙළි නැංවීමේ සොදුරු සිහිනය සැබෑ කරගැනීමේ අභිප්‍රායෙන්  Hari, Alok සහ Ryan   ඒ වෙත පැමිණෙයි. 

නමුත් ඒ සුන්දර සිහිනය වැඩි කලක් යාමට මත්තෙන් උන්ගේ ඇස් ඉදිරිපිටදී ම වියැකී යයි. 

උන් මුහුණ දුන් පළමු විභාගයේ දී ම අවම ලකුණු ලබා  දුර්වලතමයන් ලෙසින් IIT ජීවිතය ආරම්භ කිරීමට උන් හට  සිදුවෙයි. 

ඉඳින් රචකයා අප හට පවසන්නට යන්නේ ආයතනය තුල නිවැරදිව හැසිරී උන් වැටුණු වලෙන් ගොඩ ඒමේ මාර්ගය ගැනද??  නැත...ඔහු කියන්නට හදන්නේ ඔබ දුර දිග නොබලා කටුයුතු කරන්නෙක් නම් ඔබට් සිදුවිය හැකි අකරතැබ්බයන් ගැනයි.

එතැන් පටන් ඒකාකාරී නීරස ඉන්දීය අධ්‍යාපන සංස්කෘතිය තුල ගොඩනැගෙන උන්ගේ   කතාව Hari අපහට පවසයි.. 

දැඩි මතධාරී ගුරුවරුන්,කිසිදා නිම නොවෙන විභාග,අසීරු විෂය නිර්දේශ අතර අතරමන් වන උන්ගේ සිත් නිබඳවම ආදරය මිත්‍රත්වය වැනි එදිනෙදා දිවියේ රසමුසු අහුමුලු ද සොයා යයි.. 

ඒකාකාරී වූ දෛනික ජිවිතයට මද අස්වැසිල්ලක් ලැබීම ට උන් කරනා විගඩම්, නාඩගම් සහ පුරසාරම්කම් වල ප්‍රතිඵල දෙගුණ තෙගුණ වී උන් පසුපස හඹා එන සැටි කෙතරම් අපුර්ව ද ...

මේ අතර Hari විද්‍යයතනයේ මහාචාර්යවරයෙකුගේ දියණියක හා පෙමින් බැඳෙයි.

නමුත් උන් තවමත් දුර්වලතමයන් අතර...

IIT විදුපියස හැරදා යාමට උන්ට සිදුවේවි ද??

නොඑසේ නම් විශිෂ්ටයින් ලෙසින් IIT ජීවිතය ජයගැනීමට උන්ට හැකිවේවි ද???
රැකියා වෙළඳපොළ තුල සිටිනා අධික ඉල්ලුමැති තරු බවට පත්වීමට උන්ට හැකි වේවි ද ???




Sunday, September 14, 2014

Jamaica Inn - Daphne du Maurier (යකාගේ නවාතැන - Dr.චන්දන මෙන්ඩිස්...)

පස්වන දිග හැරුම...


හෙල්ෆොර්ඩ් හි ගම්බද ගොවිපොලක ඇති දැඩි වූ විසි හැවිරිදි Mary Yellan හට ස්වකීය මවගේ අකල් මරණයෙන් පසු කොන්වෝල් හි පිහිටා ඇති සිය නැන්දණිය ජීවත් වන Jamaica Inn තානායම වෙත යාමට සිදුවෙයි.
එහි සිට ගව් ගණනක් දුරට මනුෂ්‍ය වාසයෙන් තොර වූ තානායම වෙතට ඈ කැඳවාගෙන යන කරත්ත කරුවා එහි නොයන ලෙස ඈ හට බැගපත් වෙයි.
සැර පරුෂ දාමරිකයෙකු වන ඇගේ මාමණ්ඩිය විසින් පාලනය කරනු ලබන මෙම නවාතන් පොලෙහි නැන්දනිය ගත කරනා ඉතා අසරණ ජිවිතය දැක Mary කම්පනයට පත්වෙයි.
මේ අතර Jamaica Inn හි වූ අසාමාන්‍ය බවක් දක්නා මේරි කැළඹීමට පත්වෙයි.
නවාතැන් පොලක් වුවද එහි කිසිදු අමුත්තෙකු සිටියේ නැත.එපමණක් නොව එය කිසි දිනෙක අමුත්තන් සඳහා විවරව තැබී ද නැත. හතර වටින්ම තෙරක් නොපෙනෙනා වගුරු බිමකින් වටවූ Jamaica Inn තුලට වී සිය මාමණ්ඩිය සහ පිරිවර ගත කරනා රහස්‍ය ජීවිතය කුමක් සඳහා ද ??? Mary මෙහි වු අභිරහස සොයා යාමට තීරණය කරයි.
මේ අතර මාමා සහ ඔහුගේ සහචරයන් විසින් සිදු කරනා දාමරික ක්‍රියා අතරට මැදිවන Mary එහි සිටිනා තවත් එක් දාමරියෙකු හා පෙමින් බැඳෙයි.

Wednesday, September 10, 2014

The Whiff of Money - James Hadley Chase

සිව්වන දිග හැරුම… 


එක්තරා අඳුරු රාත්‍රියක හිටපු CIA රහස් පරීක්ෂකයෙකු වන Mark Girland සොයා ප්‍රංශයේ පැරිස් නුවර CIA ප්‍රධානීතෙම පැමිණෙයි. ඔබත් මමත් නොදන්නා එක්තරා අභිරහස් තරුණියක රංගනයේ යෙදෙන නිල් වීඩියෝවක් සහ එම තරුණිය සොයාගැනීම ඔහු Girland හට බාර කරයි..
සුරූපී ඈ කවරෙක් ද?

අනපේක්ෂිත මොහොතක මේ තරුණිය කවරෙක් ද යන වග ඔහු දැන ගනියි.Gilly නම් වන ඈ ඇමෙරිකානු ජනපති අපේක්ෂක දියණියයි.
නිල් වීඩියෝවක රඟපෑමට ඈ හට සිදු වුයේ කුමක් නිසා ද ??
සිය ජිවිතයේ මුල් යුගයේදී දෙමාපිය ආදරය සහ සෙනෙහස සිතැඟි පරිදි නොලබන නිසාවෙන්ම ඔවුන් හා තදබල් ලෙස වෛර බැඳගන්නා ඈ හට එහි වාරුව කෙසේ හෝ ගැනීමට අවශ්‍ය වෙයි.එබැවින් උක්ත නිල් වීඩියෝව ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් සිය පියා ජනපති ධුරයට තේරී පත්වීම වැලක්වීමට ඈ මාන බලයි..
මේ අතර පැරිසිය පුරා උක්ත නිල් වීඩියෝව හා ඈ සොයා යන Girland හට නිල චිත්‍රපට කර්මාන්තයේ නියැලෙන්නෙකු ඔවුන් පිළිබඳව හෝඩුවාවක් ලබාදෙයි..
මේ අතර එම වීඩියෝව පිළිබද ව දැනගන්නා සෝවියට් රුසියාව ද වීඩියෝව සොයා යාමට ඔත්තුකරුවෙකු ඒවා ඇමෙරිකාව අරාජිත කිරීමට මාන බලයි.මේ අතර තවත් තුන්වැන්නෙකු Gilly හා Girland මරා දමා වීඩියෝව විනාශකිරීමේ රහස් මෙහෙයුමක් අරඹයි…
Girland හා Gilly ගේ ඉරණම කෙසේ විසදේවි ද??

Friday, September 5, 2014

A Walk to Remember - Nicholas Sparks

තෙවන දිග හැරුම




නිල් වන්ව නෙත රඳනා lilac මලෙහි වූ ඒ අපුර්වතම සුගන්ධය , සෑම වසරක ම අප්‍රියෙල් මාසයේදී ,හමනා මුහුදු සුළං ප්‍රවාහයට මුසුවී දසත හමායන්නට වූ කළ ඔහුගේ සිත තමන් පාසල තුල ගෙවූ ඒ අවසන් වසරේ සදාදරණීය මතක සටහන් සොයා යයි. ඒ 1958 වර්ෂයයි.ඔහු ඒ වන විටත් යව්වනියන් කිහිප දෙනෙකු යහළුවන් සේ ඇසුරු කර තිබුණු අතර ඉන් එකියකට ඔහු සැබෑවටම ආදරය කල බවට ඔහුගේ සිත දිවුරයි..

පාසලේදී ඔහු මුණ ගැසෙන ගැහැණු ළමුන් අතුරින් අයෙක් කටකාරය.අයෙක් දගකාරය.නමුත් මේ සියල්ලන් අතරේ නිහඩ ගුප්ත යව්වනියකද වුවාය.


ඈ නමින් Jamie ය .Jamie නගරයේ පුජක තුමාගේ දියණිය වුවාය. . නගරයේ සිටිනා සියලුම යව්වනියන් මෙලොවින් තුරන් වී ඈ පමණක් ඉතිරි වුවත් ඔහු ඈ හා පෙමින් නොබැඳෙන බව ඔහු හොඳාකාරවම දනියි . ..ස්වකීය පොත් මිටිය සමඟ බයිබලයක් ද ලැමට තුරුළු කරගත් ඈ සම වයස් මිතුරු මිතුරියන්ගෙන් වෙන්වූ හුදෙකලා දිවියක් ගතකලාය. අනාථ වූ සතුනට ඇප උපස්ථාන කිරීම ප්‍රිය කළ ඈ තම වැන්දඹු පියා සමග වාසය කළාය . යෞවනයෙකු කිසි දිනෙක ඈ හා ඇසුර පතා නොතිබිණි.ඔහු වුවද එසේම විය..


අනපේක්ෂිත ලෙස පාසල් වසර අවසාන නර්තන අංගය(Home Coming Dance ) සදහා ස්වකීය සහයකයා ලෙස අකමැත්තෙන් මුත් ඈ කැඳවාගෙන යාමට ඔහුට සිදුවෙයි.පැයෙන් පැය ගතවී දිනයේ අවසන් හෝරා කිහිපය ලගාවන විට ඔහුගේ සිත ඈ හට ආදරය කිරීමට පටන් ගෙන තිබිණි...

ඇගෙන් ලද තෙරක් නොපෙනෙන ආදරය හමුවේ ඔහු ගෙවූ සැහැල්ලු විනෝද කාමී ජීවිතිය මහාපරිමානයේ වෙනස් කමකට බඳුන් වෙයි. ආදරය යන වදනෙහි සැබෑ අරුත ඈ ඔහුට කියා දෙයි.ඈ හා ඇසුරෙහි තෘප්තිමත් වෙන ඔහු ඈ අහිමි ජිවිතයක් නොපතයි. පැහැබර අනාගතයක සුබ සිහින අතරේ අතරමන් වන ඔහු , ඈ පවසන අනපේක්ෂිත හෙළි කිරීමෙන් කම්පනයට පත් වෙයි...

Monday, September 1, 2014

Veronika Decides to Die-Paulo Coelho

 දෙවන දිගහැරුම...


තෘප්තිමත් රැකියාවක්,ආකර්ෂණිය පෙම්වතුන්,ආදරණීයයන්ගෙන් පිරුණු නිවස්නයක්,මන බඳිනා රූසපුවක් යනාදී සියලු සිතූ පැතූ සම්පත් වලීන් අනුන ජීවිතයක් ගතකළ විසි හතර හැවිරිදි වෙරෝනිකා උක්ත කිසිම දෙයකින් සතුටු වන බවක් පෙනෙන්නට නොතිබිණි.ඉදින් ඈ මරණය කරා පිය නැඟීමට තීරණය කොට යලි කිසි දිනෙක අවදි නොවීමේ අරමුණෙන් වසර 1997 නොවැම්බර් මස 11 වන දින හිරු නැගෙන කනිසමේදී නිදි පෙති අහුරක් ගිල දැමුවාය .

මරණයේ සේයාවන් අතරින් පසු දිනෙක අවදිවන වෙරෝනිකා, තමන් මානසික රෝහල් ඇඳක් මත සිටිනු දැක වික්ෂිප්ත වුවාය.


 බලාපොරොත්තු අතරින් නැවතත් ජිවයේ පහස ලබන වෙරෝනිකා හට එහිදී දැනගන්නට ලැබෙන්නේ මරණය කරා වැටී ඇති ගමන් මාර්ගයේ ඈ අඩක් පමණක් පිය නගා ඇති බවකි. 

ඈ වෙත ක්ෂණික මරණයක් උරුම කිරීමට අසමත් වුවත්,නිදි පෙති අධි මාත්‍රාව ඇගේ සියුමැලි හදවතට දරුණු ලෙස හානි සිදුකොට ජිවත් වීම සඳහා වෙරෝනිකා හට එක් දිනක් පමණක් ඉතිරි කොට තිබිණි.

මානසික රෝහල් භුමිය තුල හමුවන මිනිසුන්ගෙන් ඈ ජිවිතයේ ජීවය පිලිබඳව වටහාගනියි..


නමුත් ඈ මරණය කරා පිය නගමින් සිටියි... 


ඇගේ ජීවිතය මරණයෙන් කෙළවර වේවිද???