Thursday, April 2, 2020

ගම්පෙරළිය - මාර්ටින් වික්‍රමසිංහ

නන්දා කුලසිරිතෙන් ආඪ්‍ය වූ නිවස්නයක උපත ලැබුවෙකි. ටිකෙන් ටික මේ කුලගෙයි අගහිඟකම් මතුව ඒවා උත්සන්න වී යයි.
නන්දාගේ අත පතා එන පියල් නම් වූ තරුණයෙකි.
කුලීන බැවින් ඔහුගේ යෝජනාව උපන්ගෙයි ම නැතිව යයි.
නන්දා හා සිරියහනට පිය නඟන්නේ ජිනදාස නම් වූ අයෙකි.
ඔවුන්ගේ කැදැල්ලේ වූ මුදල් ටිකෙන් ටික අඩුවී යද්දී ජිනදාස කාසි සොයා ඈත ගම් දනව්වකට නික්ම යයි.
ටික කලකින් ඔහු අතුරුදන් වී යයි.
ඔහු ගැන මතකය ක්‍රමයෙන් වියැකී යද්දී නන්දාගේ ඉරණම කුමක් වේවි ද ?

Thursday, March 19, 2020

සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා

ඔහු අතවැසියා වූ හැටි. අතවැසියා දඩයක්කරුවා වූ හැටි. බෙරකාරයාගේ දියණිය, වෘක්ෂ දෙවියා, හාමුදුරුවෝ සහ තවත් බොහෝ දෙනෙකු අතර ගලායන ජීවිතයේ කතාව...

ලෝකයේ වන්නේ එක ම එක ධර්මතාවයකි. එය නම් අනිත්‍යයයි...

පොඩ්ඩක් විතර මොලේ කොලොප්පං වෙලා  ගියා මේක කියවලා...

Tuesday, March 6, 2018

ශ්‍රී ලාංකික රචකයෙකු අතින් ලියැවුණු රහස් පරීක්ෂණයක්... එක හුස්මට කියවා ඉවරකළ හැක්කක්.

නිතර රණ්ඩු සරුවල් වෙන තරුණ වයසේ විවා
හක යුවලක්.

පාන්දර ජාමේ අධි වේගයෙන් තනිවම රිය පදවන ස්වාමිපුරුෂයාගේ වහනය පොලිස් අනින් නතර වෙයි. එහි ඩිකිය ඇර බලන විට කාන්තා මළසිරුරකි.

පොඩ්ඩක් ඉන්න.

ඔහු නැවත මළසිරුර දෙස නෙත යොමයි.

මේකනම් වෙන්න බැහැ. මේ හෝරාවකට පමණ ප්‍රථම ගිහින් එන්නම් කියූ තම භාර්යාව නේද...

මිනීමැරීමට සැකපිට ඔහුව අත්අඩංගුවට ගැනෙයි.

මේ අතර භාර්යාවගේ දිවියේ සැකමුසු අහුමුලු රැසක් ගැන පොලිස් ඇස යොමුවෙයි.

දිවා කාලයේ දී කාටත් නොදන්වා ඈ කොහේ යන්නේ ද?

හමුවූ රන් මාලය කගේ ද?

අල්ලපු නිවසේ බාස් උන්නැහැ එදා උදේ දුටු දේ කුමක් ද.

පෙරපාසල් ගුරුවරිය ඈ ගැන දත් රහස පොලිසියට පවසාවි ද...

මේ පැටළුණු නුල් බෝලයේ රහස විසඳීමට දක්ෂ CID නිළධාරියෙකු ට පැවරෙයි.

ලැබෙන නිහඬ ඔත්තු ඔස්සේ ඔහු තම නිළධාරීන් මෙහෙයවයි.

වෙස් වලගන්නා CID නිළධාරීන් මරණකරිය ආ ගිය තැන් වලට නොයෙකුත් වේශ වලින් රිංගා ගනියි. විටෙක අයෙක් පෙරපාසල් ගුරුවරියකි. විටෙක අයෙක් මේසන් බාස් කෙනෙකි.  ලෙඩක් වැටේ යැයි බියෙන් අන් අය පොලිසියට නොපවසන තොරතුරු මොවුන් හාරා ඇවිස්සීමට පටන් ගනී.

කෙසේ වුවත් අභිරහස හෙළිකරගැනීම සඳහා ප්‍රධාන CID නිළධාරියාට  ලැබී ඇති කාලය මාසයක් පමණි.

කතෘ - ඩී. එම්. අනුර දිසානායක
ප්‍රකාශනය - සුසර ප්‍රකාශකයෝ

Saturday, October 7, 2017

සත්වෙනි තරුව - සෙව්වන්දි රුක්මල්දෙණිය

තරමක අමුතු කතා තේමාවක්. හීන් සීරුවේ හැල්මේ ගලා යන ලව් ස්ටොරියක්. ඇක්ෂන් ෆිලුමක් මෙන් අති ධාවනකාරී අවසානයක්. නැවත වරක් රස බලන්නට සිතෙනා අපුර්ව ගෙත්තමක්. හැබැයි පට්ට චාටර් පිට කවරයක්...

ඔහු සභිශාන්. තවත් එක් දේසපාලු පුත්‍ර රත්නයක්. කෙල්ලන් දපනේ දා ගැනීමට රුසියෙක්. නිතර
කට කතා වලට ලක් වන්නෙක්. හැබැයි රසායන විද්‍යාවෙන් පරතෙරට ම යන්නට මාන බලන්නෙක්.

සිය රසායන විද්‍යා පරීක්ෂණ සඳහා නිදහස් නිස්කලංක පරිසරයක අවශ්‍යතාව තදින් ම දැනෙනා නිසා ම සභිශාන් තම පියාට අයත් උඩරට කඳුකර බංගලාවේ මාසයක් නවාතැන් ගැනීමට සිතයි.

හදිසියේ ම බංගලාව තුලින් ඇසෙනා කෙල්ලකගේ විලාප හඬක් පසු පස ලුහුබඳිනා ඔහු, සම වයස් රුමතියක් බංගලාවේ සිරකර සිටිනු දැක පුදුමයෙන් පුදුමයට පත්වෙයි.

ඇය නුතාරා...

සභිශාන්ගේ පියා මේ අතර පවසන්නේ ඇය කව්රුන් ද කුමක් සඳහා සිරකර සිටීද ආදී දෑ ගැන වද නොවෙනා ලෙසයි.

බංගලාවේ වැට කඩොලු වලින් බේරී පලායාමට උත්සාහ කරනා ඇය ඒ සැමවිටම සභිශාන්ගේ අතට ම හසුවෙයි.

ක්‍රමයෙන් සභිශාන්ගේ සිතේ ඇය ගැන සියුම් පෙමක් දළු ලා වැඩෙනමුත් ඈ ඔහුව තඹේකට මායිම් කරන්නේ නැත.

නුතාරා හමුවීමට සතියකට වරක් බංගලාව වෙත පැමිණෙන අමුත්තා කවුරු ද? ඔවුන් පැයක් දෙකක් කතා කරන්නේ මොනවා ගැන ද...

මේ අතර නුතාරාගේ විවාහයට සියල්ල සුදානම් වෙයි.

නමුත් එදා රෑ සියල්ල උඩු යටිකුරු වෙන්නේ ඔබටත් මටත් සිතාගැනීමටවත් නොහැකි පරිද්දෙනි.

මහා රෑ සිදු කරනා හඹා යාම්... CCTV කැමරා වලට හසුනොවෙනා ලෙස සිදුකරන්නට නියමිත රහසිගත පැන යාමක්...

ඇය කාගේ කව්ද කියා සොයා ගැනීමට ඔහුට හැකිවේවි ද?

ඇගේ ආදරය කා හට ද...

ලුහුබඳින්නන්ගෙන් බේරී පැනයාමට ඇයට හැකි වේවි ද...

නන්දු අම්මා, සභිශාන්ගේ පෙම්වතිය, හංස, රුවන්... මොවුන්ගේ කතාවේ කොටස් කරුවෙකු වන්නට ඔබටත් ආරාධනා...

ප. ලි. : මේ පොත ජනගත වුවා මදි දැයි සිතෙන්නේ පොත් කියවන අය තුළ පොත ගැන වැඩි හාවක් හූවක් නැති නිසාය.
සෙව්වන්දිය, නුඹගේ පළමු පොත මෙය බව දැනගන්නට ලදිමි. පබැඳුමෙහි නුඹේ හැකියාව විශිෂ්ට ය. තවත් මෙවන් පොතක් ලියන්නට ආරාධනා... එසේම තව ටිකක් මාකට් පාර දාන්න බලන්න හොඳේ...





Friday, November 20, 2015

The Murder of Roger Ackroyd - Agatha Christie

ඔයත් අළුතෙන් එන ෂර්ලොක් හෝම්ස් 'හප' කියවලා එපා වෙලා ඉන්න කෙනෙක් ද? වෙනසකටත් එක්ක හර්කියුල් පොයිරොත් එක්ක මර්ඩර් කේස් එකකට සෙට් වෙමු ද ?

කියවලා බලන්න යාලුවනේ... අන්තිම හරියට එනකන් ම අපරාධ

කාරයා කවුද කියල හිතා ගන්නවත් බෑ...

අගතා ක්‍රිස්ටි මහත්මිය මිට සියවසකට පමණ ඉහත දී (1926) රචනා කළ මෙම නව කථාව අදටත් ලෝක අපරාධ සාහිත්‍යයේ අග්‍රස්ථානයක වැජඹෙනවා කියල මං කිව්වොත් ඒක බොරුවක් නම් නොවෙයි.

දැන් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.

ධනවතෙකු වූ රොජර් ඇක්රොයිඩ් මහතා ෆෙරස් මහත්මිය හා විවාහ වීමට යයි. වැන්දඹු කාන්තාවක වන ෆෙරස් මහත්මිය, තම පෙර ස්වාමිපුරුෂයා වස දී ඝාතනය කල බවට රාවයක් වෙයි. මෙහි සත්‍යතාවය සැක හැර දැනගන්නා තුන් වැන්නෙක් ඈ බ්ලැක් මේල් කරයි. එය ඉවසාගනිමට බැරි තරම් දරුණු වූ දිනෙක තමන් බ්ලැක් මේල් කරන්නේ කවුරුන් ද යන වග රෝජර් හට දන්වා යවන ඈ සිය දිවි හානි කර ගනියි. පසු දින රෝජර් මහතා ද සහාසික ලෙස තම පුද්ගලික කාමරය තුලදී ඝාතනය කොට තිබිය දී සොයා ගැනේ. මේ අතර සිද්ධිය වූ නිවසට පැමිණෙන රහස් පරීක්ෂක පොයිරෝ අපරාධ කරුවා සොයා තම සුක්ෂම බුද්ධිය මෙහෙයවයි.


ඒ මුසල රාත්‍රියේ ඇත්තටම සිදු වුයේ කුමක්ද?
දොස්තර මහතාට කතා කල නාදුනන අමුත්තා කවරෙක් ද?
වත්ත පහල පිහිටි කුඩා නිවහනේ නැවතී සිටියේ කවුරුන් ද?
රොජර් මහතා ඇත්තටම මියගියේ කියට ද ?
එ දින රාත්‍රියේ සිටි අයවලුන්ගෙන් සැබෑ ඝාතකයා කවුරුන් ද?

ප.ලි : සිංහල පරිවර්තනයේ ගුණ දොස් නොදනී...


Sunday, April 26, 2015

ලන්තෑරුම් දහසේ නිවහන - පරි: සේමාලි කැල්ලපත

අනික් අය පට්ට, මාර, සුපිරි, එල කියල හඳුන්වදීපු පොතක් කියෙව්වට පස්සේ මෙලෝ රහක් නැති එකක් වෙලා තියෙනවද? මේ මට එහෙම වෙච්චි පොතක්.
ලන්තෑරුම් දහසේ නිවහන - පරි: සේමාලි කැල්ලපත [ MY RATINGS : 6/10 ]
තම පියාගේ අකල් වියෝවෙන් පසු ගෘහ පලිකවක වන සිය මව සමඟ පිටිසර බද මහා මන්දිරයකට යන ජේන් එහි වූ රහස් කාමරයක් දැක එහි ඇතුල්වන ආකාරයක් සිතයි.
අතිශය පෞරාණික භාණ්ඩ වෙළෙන්දෙක් වූ නිවෙස් හිමිකරු නැති වෙලාවක් බලා ඈ එහි ඇතුල් වෙයි. ඈ ඔහුගේ අතටම අසුවෙයි.
පෞරාණික භාණ්ඩ ගැන ඇල්මක් ඇති කරගන්නා ඈ ඒ පිළිඹඳ හැදෑරීම ආරම්භ කරයි.
මේ අතර ඈ නිවෙස් හිමිකරුගේ ඥති පුත්‍රයෙකුගේ නුරා බැලුම් වලට හසුවෙයි.
ලන්තෑරුම් දහසේ නිවහන වෙත යාමට වරම් ලද ඈ එහි ඇති එක්තරා අභිරහසක සුල මුල පසු පස හඹා යයි.
මාර පොතක්, ඉක්මනට හොයාගෙන කියවන්න ඕනි කියල මේ ටික කියවනකොට ඔයාලට හිතෙයි.
ඒත් මට නම් මේක සිරසේ " මහ ගෙදර " වගේ. (එකට කැමති ඈයෝ ඉන්නවනම් සමාවෙන්න ඕනි)
කතෘ කුතුහලය ඇවිස්සෙන විදියට කතාව ලියල නෑ. වෙන දෙයක් ඕනි නෑ මේ ලන්තෑරුම් දහසේ නිවහනට කට්ටිය යන්නෙත් පොතේ මැද හරියේදි. පොඩි අභිරහසක් තියෙනවා නම් තමයි. ඒත් ඒක මුලික කරගෙන නෑ. වෙන වෙන සිද්දි ඉස්මතු වෙනවා වැඩියි. කොටින්ම කිව්වොත් එක සිද්දියක්වත් හරියට ඉස්මතු වෙන්නේ නෑ. හැබැයි වට්ටෝරු කතා කියවන කෙනෙක්ට නම් හොදයි. ඒක හන්ද මං මේකට දෙන්නේ 6/10 යි.
පොත කියවන්න ඕනි නම් මෙතැනින් එහාට කියවන්න එපා...
මහගෙදර වගේ මේ කතාව කෙටියෙන් කිව්වොත්...
කොල්ලයි කෙල්ලයි යාලු වෙනවා. ඊට පස්සේ කළුවරේ ජරමරේ. පස්සේ කොල්ලගේ පරණ සීන් එකක් ගැන කෙල්ල දැනගන්නවා. කෙල්ල අපහු ගෙදර එනවා. මළා. කලින් දවසේ කොල්ලට රේන් කෝට් දාන්නත් අමතක වෙලා. කෙල්ල පෙත්ත ගහලත් නෑ. ( මේ කාලේ ඒවා තිබ්බේ නැද්ද දන් නෑ ) කෙල්ල බඩ වෙනවා. දැන් මිනිස්සු අහනකොට තාත්ත කෝ කියල මොනවද කියන්නේ...! ගෙදර ලොකු මහත්තය කියනවා දරුවා එයාගේ කියල. පස්සේ දෙන්න බැඳලා ලන්තෑරුම් ගෙදරට යනවා. අන්තිම පිටු ටිකේදි පොඩි අභිරහසක් විසඳෙනවා.
මේක මගේ අදහස. ඔබේ අදහස් දැක්වීම් වලට විවෘතයි..

Thursday, April 23, 2015

තවත් ඉසව්වක් කරා...

තවත් අලුත් බ්ලොග් කට්ටක් අටවා ගත්ත. දැන් ටිකක් කල්... :-)

ඒ පැත්තටත් ඇවිත් යන්න එන්න...

http://doczdiery.blogspot.com/

Sunday, April 19, 2015

අපේ ගමේ විත්ති - පියසේන කහඳගමගේ


ගම්බද සිරියාව අපුරුවට මනසෙහි සිත්තම්වන ගෙත්තමක්...

වියැකී ගිය පැරණි ගමක පැවති සොඳුරු වූ ආශ්වාදය යලිත් විඳගන්නට නගරබදව කාර්යබහුල ජිවන රටාවකට හුරුවූ ඔබ බොහෝදෙනෙක් එක සිතින් මනාප ඇති.

වැව අද්දර කජු සෙල්ලං කර මහන්සි වූ විට පින්තලියෙන් පැන් පොදක් තොල ගාන්නට...

සුවාරිස් මුත්තාගේ පිඟානෙන් බතල කා රුකඩ සෙල්ලම් බලන්න යන්ට...

පෙරහැර බලා සල්පිලෙන් බඩු ගන්න...

කරත්ත කාරයින්ගේ කඩෙන් තේ බී කිතලගමට නෑගම් යන්ට...

තවත් අටුවා ටීකා මොටද...

කහඳගමයන්ගේ මේ සොඳුරු රචනය අදින් වසර හැටකට පමණ එහා වූ සොඳුරු ගම්මානයකට නෑගම් යාමට අවැසි ඔබ සඳහාමයි...

Tuesday, April 14, 2015

සුරිය කුසුම - චුලාභය ශාන්ත කුමාර හේරත්

එක හුස්මට කියවා අවසන් කල පොතක් පැයක් ගතවීමටත් මත්තෙන් යලිත් අතට ගෙන තවත් වරක් එක හුස්මට කියවා ඉවර කොට තිබේද??? මේ මං එහෙම කියවපු පොතක්...

තම මා පියන්, නෑ හිත මිතුරන් කොහේ සිටී දැයි කිසිදා නොදත් ඈ ඒ දක්වා වාසය කළේ එවැන්නන් සඳහා ම වෙන් වූ නිවස්නයක ය. එකී නිවස්නයේ එක්තරා නීතියක් වෙයි. එහි කිසිවෙකු වයස අවු: 21 සම්පුර්ණ කරයි ද ඕ කොළොම්තොට වූ ප්‍රධාන නිවස්නය වෙත ගොස් එහි අනුදැනුම යටතේ ස්වාධීන ජිවිතයක් ඇරඹිය යුතුය.

අපගේ කතා නායිකාව සිය විසි එක්වන ජන්මදිනයට පා තබන ඒ සොඳුරු දිනය වෙත කතෘතුමන් අපව රැගෙන යයි. ඈ එදින උදෑසනින් ම පාලිකාව වෙත කැඳවෙයි. ස්වකීය විස්තර අඩංගු ලිපිගොණුව ඈ අතට දෙන පාලිකාතෙමෝ එය කොළඹ නිවස්නයට භාරදෙන ලෙස පවසයි.

නිකමට මෙන් ලිපිගොණුව පෙරළා බලන ඈ දකින්නේ සුරියපුර අධිකරණයෙන් නිකුත් කල ඇගේ උප්පැන්න සහතිකයි. එකෙනෙහිම පැන නඟින තමන් කාගේ කවුරුන්දැයි කියා සොයා යාමේ හදිසි ආශාවකින් ඈ සිත වෙලා ගනියි.

කතාව අති ධාවනකාරී හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක විලාශයකට එළඹෙන්නේ එතැන් සිටය.

තමන් ගැන වද නොවන ලෙස ලිපියක් ලියා තබනා ඈ එදින මධ්‍යම රාත්‍රියේදී නිවස්නයෙන් පැනයයි. සුරියපුරය වෙත යන රාත්‍රී තැපැල් දුම්රියට අල්ලාගනු පිණිස ඈ පාළු වී ගිය මාවත් ඔස්සේ අඳුරේම දුම්රිය ස්ථානය වෙත පිය නඟයි.  

මේ අතර මධ්‍යම රාත්‍රියේදී  තනිවම ගමන් ගන්නා ඈ දකිනා මුර සංචාරයේ යෙදෙන පොලිස් භටයන් දෙදෙනෙක් සැක සිතී ඈ පසු පස ලුහුබඳියි.

ඔවුන්ට පෙර දුම්රිය ස්ථානය තුළට රිංගා ගන්නා ඈ අසුනක තනිවම ඉඳගෙන සිටිනා තරුණයෙකු දැක ඔහු අසලින් හිඳ ගනියි. පොලිස් භටයන් පැමිණි විට තමන් සිය නැගණිය ලෙස හඳුන්වාදෙන ලෙස ඈ ඔහුට බැගපත් වෙයි.

මෙම තරුණයා මාධ්‍යවේදියෙකු බවද සුරිය පුරය බලා ගමන් කරන්නෙකු බවද දැන ගන්නා ඈ තම මව්පියන් සොයා ගැනීම සඳහා ඔහුගේ උදව් පතයි.

සුරියපුරයෙහි සිදුවන මහා වන සංහාරය පිළිබඳ ලිපියක් සැකසීමට එහි යන මෙම තරුණ මාධ්‍යවේදියා ඈ ට උදව් කිරීමට නොපැකිලව ඉදිරිපත් වෙයි.

ලිපිකරුවකු හරහා ඇගේ උප්පැන්න සහතිකයට අදාල අධිකරණ වාර්තා ලබාගන්නා ඔවුන් ඉන් ලබාගන්නා තොරතුරක් අනුව දෙමළ ලයිම් කාමරයක් සොයා යයි.

මේ අතර මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් පසුපස හඹා යන තරුණ මාධ්‍යවේදියා ඔවුන් පිලිබඳ වැදගත් තොරතුරු රැසක් පොලිසිය හමුවේ තබයි. මේ බව දැනගන්නා ජාවාරම්කරුවන් ඔහු හා උරණ වෙයි.

හදිසියේම, ඈ හමුවුණා යැයි කියවෙන දවසේම වැන් රියක් තුල සිදුවූ ත්‍රිත්ව ඝාතනයක් ගැන තොරතුරක් ලැබෙයි.

ලොමු දැහැ ගැන්වෙන සටන්, ත්‍රාසජනක ලුහුබැඳයාම්, හෙළි කරගැනීමට වෙර දරන අභිරහස් අතරේ අතරමන් වන පාඨක අප හීන් සීරුවේ ගලා යන සොඳුරු ආදර කතාවක කොටස් කරුවන් වීමට ද සිදුවේ...

විටෙක ඈ ඔහුට කෝළ කම් කරයි. විටෙක ඈ ඔහුගේ උර තලය මත සීරුවෙන් සැතපෙයි, තවත් විටෙක ඈ ඔහුත් සමඟ එකම නිවහනක වාසය කරයි...

පසු දිනෙක රාත්‍රියේ ගිනි අවි අත දරාගත් කුලී ඝාතකයන් පිරිසක් මෙම නිවහනට පැමිණෙයි.

බිහිසුණු දිනෙක රාත්‍රියේ දී දුරස්ථ පාලකයකින් ක්‍රියා කරවිය හැකි පටිගත කිරීමේ යන්ත්‍රයක් සැකකරුවන්ගේ නිදන කාමරයේ සැඟවීමට ඈ සමත් වෙයි.

බලාපොරොත්තු නොවන මොහොතක සැකකරුවෙක් ඈ හඳුනාගනියි.

මේ සියල්ල අතරේ ඈ සිය අවසන් ඉලක්කය වෙත ක්‍රමයෙන් ළඟාවෙයි...

ඔබ Dan Brown, James Hadley Chase, Edgar Rice Burroughs( Tarzan ) වැන්නෙකු ලියු ත්‍රාසජනක නවකථා කියවා තිබේද??? එක් පරිච්චේදයක් කුතුහලය දනවන තැනකින් අවසන් කරන රචකයා ඊළඟ පරිච්චේදය පටන් ගන්නේ එතැනින් නොව වෙනස්ම ඉසව්වක සිදුවන සිද්දි දාමයකිනි. කතාවේ අවසන් භාගය වෙද්දී මෙකි සිද්ධි දාමයන් සියල්ල එකිනෙක පැහි එකම ඉසව්වකට යයි... මේ ශෛලියෙන් ම උක්ත ලෝ ප්‍රකට ලේඛකයන්ට නොදෙවනිව ලියැවුණු සුරිය කුසුම තවත් වරක් එක හුස්මට කියවන්නට ඔබට ද
සිතෙනු ඇත.

Sunday, April 5, 2015

මල්ලිගේ විත්ති - ගුණදාස ලියනගේ

ඔබ වැඩිම වාරයක් කියවා ඇති පොත කුමක්දැයි කවුරුන් හෝ ඇසුවහොත් ඔබේ පිළිතුර කුමක්ද? මේ තමයි මගේ පිළිතුර. :-)

කෙටි කතා සමුච්චයකින් ගොඩ නැංවෙන මේ මහා කතාන්දරයේ ගැබ්ව ඇති සොඳුරු ගැමි සුන්දරත්වය සහ සරල හාස්‍ය රසය, ඔබව වෙනත් ලොවක් වෙත රැගෙන යාවි.

ඒ හැටේ දශකයයි. ස්ථානය අද දවසේ පවතී දැයි සැක සහිත සොඳුරු ගම්මානයකි.

රසකතා සියල්ල පාඨක අපට පවසන්නේ ඉස්කෝලේ තුන වසරේ පමණ සිටී යැයි සිතිය හැක්කෙකි.

ඔහු හා ඔහු වටා සිටි පිරිස මුහුණ දෙන ඇබැද්දි, සිදු කරන්නට යෙදෙන හපන්කම් ඔබව සිනා සයුරක ගිල්ලාවි.

දිනක් රාත්‍රියේ ඔහු බණ ගෙදරක යයි. හාමුදුරුවන්ගේ කාමරයට පැමිණෙන බල්ලන් එළවීම ඔහුට බාර වෙයි. ඔහුට තද නිදිමතක් දැනෙයි. වට පිට බලනා ඔහු හාමුදුරුවන් සඳහා පිළියෙළ කර ඇති ඇඳ දකියි. මදක් ඇලවෙන්නට සිතන ඔහු ඇඳට ගොඩවෙයි. ටික වෙලාවකින් සැර පරුෂ හාමුදුරුනමක් කාමරයට වඩියි.

තවත් දිනෙක පාසලේදී බලෙන් පොරක් වෙන්නට දත කන්නෙකුට පාඩමක් ඉගැන්වීමට සිතයි. පාසල් ගෙවත්තේ වැඩ කිරීමට අනිත් අයට පෙර සැමදාම පාසැල වෙත යන මෙම 'පොර' උදැසනම ගබඩා කාමරය ඇර උදලු ආදිය ලබාගනී. දිනක් මෙම පොර පැමිණීමට පෙර පාසැල වෙත යන අපගේ කතා නායකයා බාල්දියකට ගොම දියකර දොර අරින විට ඔහුව නැහැවී යන පරිද්දෙන් දොර උඩින් ගොම බාල්දිය තබයි. තවත් සුළු මොහොතකින් 'පොර' ගොමවලින් නැහැවී යනු දකින රිසියෙන් ඔහු අසල තුරු වදුලක සැඟවෙයි. අවාසනාවක මහත... විදුහල්පතිතුමා ගබඩා කාමරය තුළට පිවිසෙයි.

මෙවන් සොඳුරු ළමා කාලයක් ගතකරන කතා නායකයා පසු කලෙක නගරයේ පාසැල වෙත යයි. එහි දී බෝඩින් ගතවන ඔහු තවත් හපන්කම් රාශියක සොදුරු සුවඳ අත්විඳියි.

චිත්තර මහත්තයා, නයි මිරිස්, දොර දිගේ යාම, සීනිබෝල වෙදා ආදී විවිධ රස කතා මවනා සොඳුරු ලොවක අසිරිය මා කෙසේ නම් විඳගන්න ද... :-(








Sunday, March 1, 2015

ගොඩානා / සරණ පතා මහ පාරට...The Garbage King - Elizabeth Laird...

ඒ වූ කලී ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයයි. හේ නමින් මැමෝ විය. භද්‍ර යෞවන වියේ සිටි ටිගිස්ට් මැමෝගේ සොයුරිය ය. මුන් දෙදෙනා අපට හමුවන්නේ උන්ගේ මව මියගොසින් සතියක ඇවෑමෙනි. පිය සෙනෙහස යනු උන් කිසිදා අසා නොමැති වදනක් බව මා ඔබට කියන්නම්. කුලී නවාතැන් පොළක සිටියද මෙතෙක් කල් උන්ගේ මව මේ දෙදෙනා කවා පොවා ඇතිදැඩි කොට ආරක්ෂා කළාය. නවාතැන් පොළෙහි මාසික අයකිරීම ද නිසි කල්හි පියෙව්වාය. නමුත් ඒ මව ජීවත්ව සිටි කාලයේ දී ය.

" අපි දෙන්නා පරිස්සම් නො වුනොත්... සිහි කල්පනාවෙන් වැඩ නො කළොත්... අපටත් ලගින්ට වෙන්නේ මහ පාරේ තමයි."

 දින කිහිපයක ඇවෑමෙන් මැමෝ වහල් මෙහෙයට විකිණෙයි. නමුත් ඔහු එතැනින් පැනයයි. අනතුරුව ඔහු විදී දරුවෙකු ලෙසින් යලි උපදියි.

පරිච්චේද කිහිපයකට පසුව අපට මුණගැසෙන ඩැනී, මැමෝ මෙන් නොව සුපිරි පැලැන්තියේ ජිවිතයක් ගත කල සම වයස් කුමාරයෙක් ම විය. අතට පයට සේවකයන් විය. යාන වාහන පමණක්ම නොව වෙනත් කිසිදු දෙයකින් ද අඩුවක් නොතිබූ වාසනාවන්තයෙක් විය. ඩැනී ද පිය සෙනෙහස නොහඳුනන්නෙකු විය. ඒ ඔහුගේ පියා ස්වකීය ව්‍යාපාර පාලනය කරමින් අතිශය කාර්යබහුල දිවි පෙවෙතක් ගත කල හෙයිනි. සියල්ල වෙනස් වන්නේ ඩැනීගේ මව ද හදිසියේ ඔහු හැරයාමත් සමගිනි.

පියා කෙරෙහි වූ කළකිරිම නිසාවෙන් ම සියළු යස ඉසුරු හැරදමන ඩැනී සිය සුඛෝපබෝගී නිවසින් පැන යයි. ටික දිනෙකට පසු ඔහුට ද සිදුවන්නේ විදී දරුවෙකු ලෙසින් තම ජිවන ගමන ආරම්භ කිරීමට ය.

දිනක් අහම්බෙන් මෙන් මේ දෙදෙන හදිසියේ මුණ ගැසෙයි. ඒත් සමඟම ගොඩනැගෙන උත්සාහය, අනොන්‍ය විශ්වාසය, පසුනොබසින දැඩි විර්යය සහ තවත් මානුෂීය ගුණාංග එක්තැන් වූ නැවුම් වුත්  අපුර්වතම වුත් සුන්දර ලොවක් පාඨක අප හමුවේ ගොඩ නැගෙයි.

මේ අතර ටිගිස්ට් හදිසි ප්‍රේමයක නුරා බැලුම් අතරේ අතරමන් වෙයි...

Sunday, December 21, 2014

The Choice - Nicholas Sparks

ඔහු Travis Parker ය.  

North Carolina හි මුහුදු වෙරළක් අබියස මනස්කාන්ත නිවස්නයක වාසය කළ ඔහු වටා කෙළිලොල් යහළුවන් පිරිසක් ද විය. බෝට්ටු පදිමින්, පිහිනමින්, එළිමහන් barbecue සාද පවත්වමින් ඔහු ගතකළ ජීවිතය බොහෝ මිනිසුන් හුදෙක් නිවාඩුවක දී පමණක් ම ගතකළ එකක් විය. 

දිගු කාලීන පෙම්වතියක් සොයාගැනීම වනාහි ඔහුගේ මෙම නිදහස් ජීවිතයට බාධා කරන්නක් බව ඔහු තරයේ ම විශ්වාස කළේය. 

නමුත් ඒ Gabby Holland ඔහුගේ යාබද නිවසට පැමිණෙන තුරු පමණි. 

අසල්වැසියෙකු ලෙසින් ඈ හා මිතුරු වන්නට ඔහු දැරූ වැයම තුට්ටුවකට මායිම් නොකළ ඈ  කිසිවිටෙකත් ඔහු හා මිතුරු ලීලාවෙන් කතාබස් කලේ නැත. 

පරම සතුරෙකුට මෙන් තමන්ට සලකන ඇගෙන් එහි වාරුව කෙසේ හෝ ගනිමියි නොයෙක් වර සිතු ඔහු ඒ සඳහා නොකළ දෙයක් නම් නැත.  

නමුත් එකී ක්‍රියාදාමයන් අවසානයේදී සිදුවන්නේ වෙනකකි. 

ඈ  ඔහු හා පෙමින් බැඳෙයි. 

නමුත් ඈ  හට වෙනත් පෙම්වතෙකි. 

ඉඳින් කෙතරම් කාලයක් පුරාවට මේ නව යුවලට තම අදර කතාවේ සොඳුරු පිටු ගියෙන් සිත්තම් කරන්නට වරම් ලැබේවි ද???   

Saturday, November 29, 2014

The Day of the Jackal - Frederick Forsyth (වෘකයාගේ දවස - අභය හේවාවසම්)

පහළොස් වන දිගහැරුම...

රයිෆලයක් අතින් ගත්, රටක අනාගතය වෙනස් කල හැකි මිනිසෙක්...

ජනපතිවරයෙකු ඝාතනය කිරීමේ අතිශය රහස් කුමන්ත්‍රණයක්... 

තවත් මිනිත්තු කිහිපයකින් සිදුවන්නට නියමිත කුරිරු ඝාතනයක්... 

නමුත් එම ඝාතන තැත වැළක්වීමට සමතෙක් අහලකවත් නැත...

රනින් දිදුලන කෙස් කළඹක් වටකොට ගත් අතිශය තියුණු නෙත් සඟලක් හිමි ඔහුගේ සැබෑ නම අදටත් රහසකි. 
අපි ඔහුට  Jackal කියමු. 

තවකෙකු වෙනුවෙන් කුලියට තවත් එකෙකු මරාදැමීම ජීවිකාව කරගත් ඔහු ඉංග්‍රීසි ජාතිකයෙකි. 

වෘත්තීය කුලී ඝාතකයන් අතළොස්ස අතරේ අන් කිසිවෙකු හා අසම සමව ඉහළින්ම වැජඹෙන ඔහු ගැන වතගොත දත් ආරක්ෂක සංවිධානයක් යනු හුදෙක් සිහිනයක් ම පමණි. 

ඉඳින් ඔහුගේ කර්යශුරත්වය ගැන තවත් වර්ණනා කුමටද... 

කිසිදා නොවැරදුනු ඉලක්කයක් ඇති ඔහුගේ සුක්ෂම දෑතට මෙවර ලැබෙන්නේ දැඩි ආරක්ෂක රැකවල් මැද දිවි ගෙවනා මිනිසෙකු ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවකි...



මිල : සිංහල පරිවර්තනය : රු. 300 සිට
         ඉංග්‍රීසි : රු.1200 යි.

Saturday, November 22, 2014

The Witness by Nora Roberts

දාහතර වන දිගහැරුම....

කුතුහලය අවුස්සන භයංකර අභිරහසක් හා සුන්දර ආදරයක් අතරට මැදිව දිවිගෙවනා ඇයට සැමදා සැඟව සිටිය නොහැකියි.

තම මවගේ දැඩි පාලනයට නතුව දිවි ගෙවූ එලිසබෙත්, ඈ නොමැති එක් දිනෙක රාත්‍රී සමාජ ශාලාවක් වෙතට පිය නඟයි. එහිදී ඈ ඇති පදමට රහ මෙරින් සප්පායම් වෙයි. මත් වී සිටිනා ඈ වෙත පැමිණෙන එක්තරා රුසියානුවෙක්   Lake Shore Drive නමින් හැඳින්වෙන පෙදෙසක ඇති නිවසක් තුළට ඈ කැඳවාගෙන යයි. එතැනින් පසු සිදුවන සිද්දි දාමයක් ඇගේ ජීවිතය සදහටම වෙනස් කිරීමට සමත් වෙයි.

දොළොස් වසරක් ගතවෙයි.

Ozarks හි කුඩා නගරයක් ආසන්නයෙහි  ජිවත්වන,  නමින් Abigail Lowery වන  තවත් එක් කාන්තාවක්  වෙත  කතෘතුමිය තම පන්හිඳ මෙහෙයවයි. නිවාස ආරක්ෂක පද්ධති සැලසුම් කරනා ඈ පරිගණක ක්‍රමලේඛ ශිල්පිනියක වෙයි. ස්වකීය ආරක්ෂාව සඳහා රුදුරු සුනඛයෙකු සහ ගිනි අවි ළඟ තබා ගන්නා ඈ මෙතරම් ආරක්ෂාවක් ඈ වෙත අවැසි වන්නේ මන්දැයි කිසිවෙකු හා නොපවසයි. 

වැඩි ආරක්ෂාවක් සහිතව, කිසිවෙකු හා වැඩි සම්බන්ධයකින් තොරව ඈ ගෙවනා රහස්‍ය ජීවිතය කුමටදැයි   ප්‍රාදේශීය පොලිස් ප්‍රධානි Brooks Gleason නොයෙක් වර සිතයි. කාගෙන් හෝ වියහැකි අන්තරාවක් ගැන බියෙන් ඈ කල් ගෙවන්නේ ද??? ලොවට හෙළිකළ යුතු අපරාධයක සුළ මුළ ඈ දන්නේ ද???  

මේ අතර ඔහු ඈ හට ආලය කිරීමට සැරසෙයි.

Tuesday, November 18, 2014

Fifty Shades of Grey - E. L. James ( අතිශයින්ම 18 + )

දහතුන් වන දිග හැරුම...

"රූ සපුවෙන් අග තැන්පත් හුරුබුහුටි ඇනාගේ දඟකාරකම් හමුවේ ඇයට ආලය කිරීමට ඔහු සැරසෙයි. 

නමුත් ඒ කොන්දේසි විරහිතව නොවේ... 

කොන්දේසි සහිතවය... "

            **********************

විසි එක් හැවිරිදි තරුණියක වූ ඇනා සරසවි අධ්‍යාපනය ලබන්නියක වුවාය...

ඇගේ හොඳම යෙහෙළිය කේට්, සති පතා පළවන සරසවි පුවත්පතට ලිපි ලිවිම සිදු කළාය.

දිනක් සියැටල් හි ජීවත් වන විසි හත් හැවිරිදි අතිශය දක්ෂ, තරුණ විවසායකයෙකු ගැන දැනගන්නා කේට් ඔහු ගැන ලිපියක් ලිවීමට සිතයි. 

නමින් Christian වූ ඔහුගේ සාර්ථකත්වයේ රහස ලොවට හෙළිකිරීමේ අරමුණින් කේට් ඔහු හා සම්මුඛ සාකච්චාවක් සඳහා දිනයක් ලබා ගනියි. 

නමුත් හදිසියේ ඇතිවන අසනීප තත්වයක් හේතුවෙන් යොදාගත් සම්මුඛ සාකච්චාව සිදුකිරීම සඳහා ඇනා පිටත් කර යැවීමට කේට් හට සිදුවෙයි.  
ඔහු දුටුවා පමණි, ඇනාගේ සිත ඔහු ගැන හටගත් පෙම් සිහින වලින් අතොරක් නැතිව පිරී යයි. 

ඉඳින් තමා ආ කාර්යය පසෙකලන ඈ ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන අනවශ්‍ය ප්‍රශ්න ගොන්නක් ඔහු වෙත මුදා හරියි. 

සම්මුඛ සාකච්චාව අවුල් ජාලයක් කරගන්නා ඈ එය අසාර්ථකව නිම කරයි. 

ඔහු යලිත් කිසි දිනෙක හමු නොවෙනා බව දන්නා නිසාම ඈ සියල්ල අමතක කොට ආපසු පැමිණෙයි.. 

පසුදිනෙක සාප්පු සන්කිර්නයකදී තමන් ඉදිරියට ඇවිද එන Christian දකිනා ඇනා වික්ශිප්ත වෙයි. 

රූ සපුවෙන් අග තැන්පත්  හුරුබුහුටි ඇනාගේ දඟකාරකම් හමුවේ ඇයට ආලය කිරීමට ඔහු සැරසෙයි. 

නමුත් ඒ කොන්දේසි විරහිතව නොවේ... කොන්දේසි සහිතවය... 

ඔහුගේ අස්වාභාවික කාමුක ආශාවන් ඉදිරියේ තැතිගැන්මකට ලක්වන ඇනා ඔහු හැර යාමට සැරසෙයි. 

නමුත් ඈ තුල ද කෙමෙන් ජනිතවන එවන්ම වූ අස්වාභාවික කාමුක ආශාවන් හමුවේ  ඔහු හැර දා යාමක්  ඈ කිසිදා  නොසිතයි.... නොපතයි...

Sunday, November 2, 2014

Nothing Lasts Forever - Sidney Sheldon


දොළොස් වන දිගහැරුම...

නමින් ඈ Paige  ය. හෘද හා උරස් ශල්‍ය වෛද්‍යවරියක( Senior resident in Cardio thorasic surgery) විම සඳහා වූ අවසන් පුහුණු කාලය ගත කල ඈ සැම සිත් ගත් සුන්දර තරුණියක වුවාය. අසරණ රෝගීන් කෙරෙහි වෙඩරු පිඩක් මෙන් සැනෙන් උණුවන හදවතක් දරා සිටි ඈ කිසි දිනෙක මුදල් පසු පස හඹා නොගියාය. මඩිය තර කරගැනීම නම්වූ පහත අරමුණ සපත කරගැනීමේ මන්ද මානසිකත්වයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඈ සැමවිටම පිළිකුල් කළාය. 

ශ්‍රී ලාංකීය අප වෛද්‍යවරුන්ට දෙවි වරුන්ට මෙන් සැළකුවත් දියුණු යැයි කියාගන්නා අපරදිග වැසියන් එසේ නොවේ. ඔවුන්ට වෙදුන් යනු තවත් එක් වෘතිකයන් පිරිසක් පමණි. අප මෙන් විශේෂ ගරු කිරීමක් කරන්නේ නැත.


දිනක් Paige ප්‍රතිකාර කිරීමට යන හෘද රෝගියෙකු ඈට අතිශය අකාරුණික ලෙස ආමන්ත්‍රණය කරයි. මේ බැ*ලි ද මට බෙහෙත් දෙන්නේ???  


ඔහු වේදනාවෙන් පෙළෙන එක් දිනෙක ශල්‍යකර්මයක් සිදු කොට පපු කුහරය විවර කර බලනා ඈ දකින්නේ  අවසන් අදියරේ වූ පිළිකාවකින් ඔහුගේ හෘද වස්තුව දරුණු ලෙස හානි වී ඇති බවකි. පිළිකා පිළිඹඳ විශේෂඥ වෛද්‍යවරයාගේ අදහස අනුව ඔහුට ජීවත් වීමට ඉතිරි ව ඇත්තේ උපරිම වශයෙන් තවත් දෙසතියක කාලයකි.


Paige හට ඔහු කළ අකාරුණික ආමන්ත්‍රණය එදවසින් පසු ලයාන්විත හැඟුම්බර ආමන්ත්‍රණයක් බවට පෙරලෙයි. උහුලාගත නොහැකි තරම් වූ අතිශය වේදනාවෙන් පෙලෙනා ඔහු ඇගෙන් ඉල්ලන්නේ එකම එක අහිංසක ඉල්ලීමකි. 


බෙහෙතක් විද මා මරා දමන්න. මා කෙසේ මේ වේදනාව තවත් ඉවසා සිටින්නද...


එදින සැන්දෑ යාමයේදී ඈ ඔහුගේ ඉල්ලීම ඉටුකරයි.


සතියක ඇවෑමෙන් ඈ හට දැනගැනීමට ලැබෙන්නේ ඩොලර් මිලියනයක් පමණ වන ඔහුගේ මුළු බුදලයම ඈ හට පවරා ඇති බවකි. 


මේ බව දැනගන්නා ඔහුගේ පවුලේ අය , මුදල් ලබාගැනීම පිණිස ඈ ඔහු ඝාතනය කල බවට පැමිණිලි කරයි.


එය සත්‍යයක් නම් දඬුවම මරණයයි. ඔවුන්ගේ ඒකායන අරමුණ වන්නේ ද එයයි.


ඔහු පෙරදී ඈ හට කළ අකාරුණික ආමන්ත්‍රණය ගැන පමණක් දන්නා සියල්ලෝම සිතන්නේ ද නොවැරදීම ඈ වරදකරු වන බවයි.


මේ පළමු පිටු කිහිපයේදී දිගහැරෙනා සිද්දි දාමයයි. ඇගේ ඉරණම දැනගැන්මට කුහුලින් පෙළෙන පාඨක අප ඉදිරියේ ඉනික්බිතිව දිගහැරෙන්නේ වෙනස්ම සිද්ධි දාමයකි. 


Paige ගෙවූ සුන්දර ළමා කාලය, ඇගේ ප්‍රථම ප්‍රේමය, වෛද්‍යවරියක වී රෝහල වෙත පැමිණෙන ආකාරය, එහිදී ඈ මුණගැසෙනා යහළුවන් සහ ඔවුන්ගේ අතුරු කතා, වෛද්‍යවරුන් ගත කරනා ඔබටත් මටත් සිතාගත නොහැකි අතිශය කාර්යබහුල වෙහෙසකර දින චර්යාව.


නමුත් මේ අනිකුත් වෘත්තාන්ත සියල්ල අවසානයේදී Paige ගේ ඉරණම වෙත පාඨක අප යොමු කරයි. 

Sunday, October 26, 2014

ගැට කපන පුංචා - වෛද්‍ය චන්දන මෙන්ඩිස් ,Smith - Lion Garfield

එකොළොස් වන දිගහැරුම...

මිනිසුන් සියගණනින් ඔබ මොබ ඇවිදින ජරාජිර්ණවී ගිය විදී ඔබ කොතෙකුත් දැක ඇති.

මනු සතුන්ගෙන් මෙන්ම සතුන්ගෙන් ද ගහන එවන් අපුල විදී ස්වකීය වාසස්ථානය කරගත් මිනිසුන් ද ඔබ ඕනෑ තරම් දැක ඇති. 

ඔබේ දෑස අවදි කර බැලුවා නම් නාවර පෙරාගත් චූටි කොල්ලන් ද ඒ අතර සිටිනු ඔබේ නෙත ගැටෙන්නට ඇති. 

ඒ 18 වන ශත වර්ෂයයි. ස්ථානය ලන්ඩනයේ අඳුරු අහු මුළු ය.

දැලි රවුල් කෙටිය වත් හරි හැටි නොවැඩුණු වැරහල්ලකින් හෙළුව වසාගත් අපේ කතා නායක කොලු ගැටයා නමින් ස්මිත් පමණක්ම විය. 

ගැට කැපීම වූ කලී ඔහු ප්‍රගුණ කළ ශිල්පය විය. ඔහුගේත් පවුලේ අයගේත් කුසගින්න නිවාලූ ශිල්පය විය.

දිනක් ස්මිත් නාදුනන මිනිසෙකුගේ පසුම්බියක් සොරකම් කරයි. තත්පර කිහිපයක ඇවෑමෙන්  එම නාදුනන මිනිසා තවකෙකු අතින් ඝාතනයට ලක්වෙයි. 

නමුත් ඔවුන්ට අවැසි දෙය දැන් ඇත්තේ ස්මිත් සතුවය. 

මිනිසෙකුව පරලොව යවන්නට තරම් හැකියාවක් තිබු පසුම්බිය සොයා දෙදෙනෙක් ස්මිත් පසු පස ඉව අල්ලයි. 

උපක්‍රමශීලිව ඔවුන් මඟහැර යාමට ස්මිත් සමත් වෙයි. 

මිල්ලේ සොයා පසුම්බිය ඇර බලන ස්මිත් එහි වූ ලියවිල්ලක් සොයාගනියි. 

නමුදු ලියන්නට හෝ කියවන්නට නොදත් ස්මිත් හට එය තවත් එක් ලියවිල්ලක් පමණක් ම විය. 

එහෙත් මෙහි වූ අභිරහස් පණිවුඩය කවදා හෝ දැන ගැනීමට සිතන ස්මිත් එය සුරැකිව තබා ගනී. 

ලන්ඩනයේ අඳුරු මං මාවත් හා ධනපතීන් වෙසෙනා පෙදෙස් ඔස්සේ ඔබ මොබ යන ස්මිත් හට දිනක් ඇස් නොපෙනෙන ධනවත් මිනිසෙක් මුණ ගැසෙයි. 

ස්මිත් තම නිවසට කැඳවාගෙන යන ඔහු ස්මිත්ට අකුරු කියාදෙයි. 

නමුත් තවමත් ඝාතකයක් ස්මිත් පසුපස... 

ධෛර්යය හා අධිෂ්ඨානය එක ලෙස කැටි කොට ගත් පුංචි ස්මිත් දැන ගන්නා ලියවිල්ලෙහි වූ රහස කුමක්ද???

Sunday, October 19, 2014

Message in a Bottle - Nicholas Sparks

දසවන දිගහැරුම...

මුහුදට විසිකරනා කුඩා බෝතලයකට ඉනික්බිතිව අත්වන ඉරණම කුමක් විය හැකිද ? 

සප්ත මහා සාගරය තරණය කරනා එය මිහිමඬලේ එහා කොන සිටින්නෙකුගේ වුව නෙත ගැටිය හැක. 


පුවත්පත් තීරු ලිපි සම්පාදිකාවක ලෙස ගෙවනා වෙහෙසකර දිවියට මද විරාමයක් තැබීමේ අරමුණෙන් වෙරළ තීරයක් අභිමුවට පැමිණෙන වැන්දඹුවක වූ Theresa Osborne  හට දිනක් මුහුදු වෙරළෙහි අද්දරට වන්නට තිබී එවන් කුඩා බෝතලයක් හමුවෙයි.


එහි වූ රෝල් කරන ලද ලිපියක් දකිනා ඈ හට එය කියැවීමට සිත්වෙයි.


"සදාදරණිය කැතරින්,හැමදාම වාගේ නුබ නැති පාළුව අදත් මගේ සිත තදින් ම වෙළාගෙන...ඒත් අද මහ කටුක දවසක්...දුක් අදෝනාවක් වැනි මහා මුසල ස්වරයකින් කෑගහන මේ මුහුදු රළ අපේ ඒ ආදර කතාව මට ආයෙමත් කොඳුරා කියන්නට වගෙයි හදන්නේ..."


මෙසේ සොවින් බරව වදන් ගලපනා ඔහු එක් නිමේෂයකින්ම ඒ දුක් ගීතය කුඩා බෝතලයක සිර කොට මහා සාගරයෙහි පාකර යවනුයේ තමන්  හැරදා ගිය ඒ සොඳුරිය කැතරින් කෙරෙහි වූ කිසිදා නොමියෙනා ආලය පැවසීමට ඒ හැර වෙනත් කිසිදු ක්‍රමයක් ඔහු නොදත් නිසාවෙනි...


සිය  ස්වාමි පුරුෂයා කෙරෙහි  වූ අචල විශ්වාසය සිඳී බිඳී ගිය දා පටන් ආදරය නමින් හැදින්වෙන ඒ සොදුරු පහස අහිමිව කල් ගෙවූ  Theresa  උක්ත ලිපිය කියවීමත්  සමගින් ඇගේ සිත වේලාගන්නා ප්‍රශ්නාර්ථයෙන් කැළඹීමට පත් වෙයි...                       

ඔහු කවුරුන් ද??කොහේ සිටින්නෙක් ද ?? 

මේ අභිරහස අභියෝගයක් බවට පත් කරගන්නා ඈ ස්වකීය සිතුවිලි ධාරාවන් පවසනා මං සළකුණු  ඔස්සේ කිසිදිනෙක දැක නැති 'ඔහු' සොයා යාමට  තීරණය කරයි...

උන්ගේ හදවත් පෙර භවයක පටන් එකිනෙක බැඳී තිබුනා සේය...


එක්තරා දිනෙක හිරු එළියෙන් ඔපවත් වූ කුඩා වෙරළබඩ නගරයකට පැමිණෙන ඈ හට අහඹු ලෙස ඔහු හමුවෙයි...


ඔහුගේ අතීත මතක සටහන් සහ අසීමිත ලෙස ශක්තිමත් හෝ ඛේදජනක ලෙසින්  බිඳී යා හැකි හෝ සුන්දර ප්‍රේම කතාවක මතක පිටු අතරේ අතරමං වීමට, එහිම කොටස් කරුවන් වීමට පාඨකයන් වන අපට ඉනික්බිතිව  සිදුවෙයි.


Sunday, October 12, 2014

One Night @ the Call Center - Chetan Bhagat හලෝ හලෝ - දිලීප ජයකොඩි

නව වන දිග හැරුම...

හේමන්ත ඍතුවේ එක්තරා දිනෙක රාත්‍රී දුම්රියක ගමනේ යෙදෙන ලේඛකයෙක් හට යව්වනියක මුණ ගැසෙයි. 

ඒකාකාරී වුත් අතිශය වෙහෙසකර වුත් දුම්රිය ගමෙනේ ගමන් විඩාව දුරු කරගැනීම සඳහා ඔහු ඈ හා දොඩමලු වෙයි. 

මා ඔබට කතාවක් කියන්න ද???

ඈ අසයි...                    හැබැයි...

මගේ කතාව ඔබගේ මීළඟ කෘතිය විය යුතුය.... ඈ  කොන්දේසියක් පනවයි. 

ඒ අසා ඔහු වික්ෂිප්ත වෙයි... එනමුදු ඇගේ කතාව ඇසීමට ඔහු සිත්ගනී. 

තමා දුරකතන ඇමතුම් හුවමාරු මධ්‍යස්ථානයක සේවය කරන්නියක බව ඈ පවසයි. 

කතාව අප ලද   පුදුමාකාර ඇමතුමක් ගැන...  

මා කියනා මේ දවසේ  අප හය දෙනෙක් එහි සිටියා...

ඔබ විශ්වාස කරනවාද , එදා රෑ දෙවියන් අප ඇමතුවා...

දෙවියන් හමුවේ සයදෙනා කරන්නට යෙදෙන  පාපොච්චරණයන් පෙළක් ඉනික්බිතිව දිගහැරෙයි...








Sunday, October 5, 2014

ආදරණිය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල

අටවන දිගහැරුම...

ඇති තරම් කාසි අතට ලැබුනත් ඉන් සැහීමකට පත්වන්නන් සිටින්නේ ඉතා කලාතුරකිනි.

ඔබ ඔබේ මුළු ජීවිතයම  කාසි කරගත් කල ඔබේන් ජීවිතය බලාපොරොත්තු වන්නන් හට යන කල දසාව කුමක්ද???

උන්, උන්ට ඕනෑ හැටියකට ජීවන ඉනිමග නගිනු ඇත.

උන්ගේ අවසානය  සුඛන්තයක් සේම දුඛන්තයක් ද විය හැක.

කලාතුරකින් දවසක හවසට රා විඩක් බොන්නට පුරුදුව සිටි උඩරටීයා කිසිදිනෙක සිහි විකල් වනතුරු රහ මෙරින්  සප්පායම් වු අයෙක් නොවේ.

නමුත් ඒ තැබෑරුම නම් සංකල්පය මේ සිරිලක් දිව් තලයට ආගමනය වූ දා දක්වා පමණි.

ඒ මේ ධර්මද්වීපයේ හා හා පුරා කියා තැබෑරුම් ආරම්භ කල කාල වකවානුවයි..

අදේට කුඹුරු වැඩ කල දුප්පත් ගොවියෙකු වූ දාවිත් අප්පු ඉතා සෙනෙහෙබර පියෙකු විය;ආදරණිය සැමියෙකු විය.නමුත් ඒ ඔහු මඩු විතෙහි වූ අපුල රසය තම දෙතොලින් චුම්බනය කළ අඳුරු දවස තෙක් පමණි.  එතැන් පටන් ඔහු හැන්දෑ යාමයේ දී නිවසට ගොඩ බසිනා යක්ෂයෙකු පමණක් ම විය.

දාවිත් පුත් අන්දිරිස් මේ සියල්ල ඉවසාගත නොහි තම ගෙදරට ආයුබෝවන් කියා රැකියාවක් සොයා යයි.මත් වතුර නම් වූ අදුරු රාක්ෂයාගේ අදුරු සෙවණැලි අතරින් ජීවිතය සෙවූ අන්දිරිස් කිසි කලෙක ඒ රාක්ෂයා තම ගෙපැලට නොවද්දා ගන්නා බවට ඉටා ගනියි.

දිනක් ඔහුට අරක්කු පිප්ප සැදීමෙහි නිපුන් වඩුවෙකු හමුවෙයි.ඔහු ඇසුරෙහි  ශිල්ප කරනා අන්දිරිස් කලක් ඇවෑමෙන් වඩු කර්මාන්තයේ පරතෙරටම යයි.. කාර්යක්ෂම වූ අන්දිරිස් වෙනකෙනේකුන් හා අසමසමව වඩු කර්මාන්තයේ නියැළෙයි.ඔහු වයික්කියටම සිටිනා දක්ෂම  වඩුවා වෙයි.රටට සිටින ප්‍රසිද්ධ වඩුවෙක් වෙයි. 

මෙසේ ලද මුදලින් ඔහුගේ සාක්කු පිරි ඉතිරී යද්දී ලද දෙයින් සතුටු නොවීම නම් සංකල්පය ඔහුව ආක්‍රමණය කරයි.

අරක්කු පීප්ප සෑදීමෙන් නොනවතින ඔහු  ඔහු අරක්කු නිෂ්පාදනයට ද අත තබයි. ටික කලකින්ම ඔහු රටම දන්නා අරක්කු නිෂ්පාදකයෙකු වෙයි.ඔහු වෙත ඇණවුම් ගලාගෙන එයි.දිනෙන් දින ඔහු දියුණුවේ හිනි පෙත්තටම යයි.

නමුත් ඔහුට ස්වකීය පවුල් ජීවිතය හරි හැටි කළමනාකරණය කරගත නොහැකි වෙයි.

මේ ආදරණිය වික්ටෝරියාව ඔබට පවසන කතාන්දරයයි. 

පානදුරා වාදය ගැන කතාව,
වික්ටෝරියා ගැන කතාව,
අරක්කු රේන්ද කරුවන් ගැන කතාව,
අන්දිරිස්ගේ ලිංගික ජීවිතය ගැන කතාව,
ධනපති පන්තිය ආක්‍රමණය කල ඉංග්‍රීසි සිරිත් විරිත් ගැන කතාව 
                වැනි අතුරු කතා ගොන්නක් මේ කතාන්දරය කියවන ඔබට මුණ ගැසේවි.

මා ඔබට දැන් අප මහා බුදුරජාණන් වහන්සේ  පැවසු වෙනත් කතාවක්(බුද්ධ දේශණයක්) කියන්නම්...

" ඔබ පංච සීලය සුරකිනා උපාසකයෙකු වශයෙන් කිසිදිනෙක මත් ද්‍රව්‍ය භාවිත නොකරන්න.එසේම මත් ද්‍රව්‍ය වෙළඳාමෙහි ද නොදෙන්න."  

"අසීමිත ආශාව වූ කලී පිරිහීමේ ලක්ෂණයකි."