ඒ වූ කලී ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයයි. හේ නමින් මැමෝ විය. භද්‍ර යෞවන වියේ සිටි ටිගිස්ට් මැමෝගේ සොයුරිය ය. මුන් දෙදෙනා අපට හමුවන්නේ උන්ගේ මව මියගොසින් සතියක ඇවෑමෙනි. පිය සෙනෙහස යනු උන් කිසිදා අසා නොමැති වදනක් බව මා ඔබට කියන්නම්. කුලී නවාතැන් පොළක සිටියද මෙතෙක් කල් උන්ගේ මව මේ දෙදෙනා කවා පොවා ඇතිදැඩි කොට ආරක්ෂා කළාය. නවාතැන් පොළෙහි මාසික අයකිරීම ද නිසි කල්හි පියෙව්වාය. නමුත් ඒ මව ජීවත්ව සිටි කාලයේ දී ය.
" අපි දෙන්නා පරිස්සම් නො වුනොත්... සිහි කල්පනාවෙන් වැඩ නො කළොත්... අපටත් ලගින්ට වෙන්නේ මහ පාරේ තමයි."
දින කිහිපයක ඇවෑමෙන් මැමෝ වහල් මෙහෙයට විකිණෙයි. නමුත් ඔහු එතැනින් පැනයයි. අනතුරුව ඔහු විදී දරුවෙකු ලෙසින් යලි උපදියි.
පරිච්චේද කිහිපයකට පසුව අපට මුණගැසෙන ඩැනී, මැමෝ මෙන් නොව සුපිරි පැලැන්තියේ ජිවිතයක් ගත කල සම වයස් කුමාරයෙක් ම විය. අතට පයට සේවකයන් විය. යාන වාහන පමණක්ම නොව වෙනත් කිසිදු දෙයකින් ද අඩුවක් නොතිබූ වාසනාවන්තයෙක් විය. ඩැනී ද පිය සෙනෙහස නොහඳුනන්නෙකු විය. ඒ ඔහුගේ පියා ස්වකීය ව්‍යාපාර පාලනය කරමින් අතිශය කාර්යබහුල දිවි පෙවෙතක් ගත කල හෙයිනි. සියල්ල වෙනස් වන්නේ ඩැනීගේ මව ද හදිසියේ ඔහු හැරයාමත් සමගිනි.
පියා කෙරෙහි වූ කළකිරිම නිසාවෙන් ම සියළු යස ඉසුරු හැරදමන ඩැනී සිය සුඛෝපබෝගී නිවසින් පැන යයි. ටික දිනෙකට පසු ඔහුට ද සිදුවන්නේ විදී දරුවෙකු ලෙසින් තම ජිවන ගමන ආරම්භ කිරීමට ය.
දිනක් අහම්බෙන් මෙන් මේ දෙදෙන හදිසියේ මුණ ගැසෙයි. ඒත් සමඟම ගොඩනැගෙන උත්සාහය, අනොන්‍ය විශ්වාසය, පසුනොබසින දැඩි විර්යය සහ තවත් මානුෂීය ගුණාංග එක්තැන් වූ නැවුම් වුත් අපුර්වතම වුත් සුන්දර ලොවක් පාඨක අප හමුවේ ගොඩ නැගෙයි.
මේ අතර ටිගිස්ට් හදිසි ප්‍රේමයක නුරා බැලුම් අතරේ අතරමන් වෙයි...
No comments:
Post a Comment