Sunday, April 26, 2015

ලන්තෑරුම් දහසේ නිවහන - පරි: සේමාලි කැල්ලපත

අනික් අය පට්ට, මාර, සුපිරි, එල කියල හඳුන්වදීපු පොතක් කියෙව්වට පස්සේ මෙලෝ රහක් නැති එකක් වෙලා තියෙනවද? මේ මට එහෙම වෙච්චි පොතක්.
ලන්තෑරුම් දහසේ නිවහන - පරි: සේමාලි කැල්ලපත [ MY RATINGS : 6/10 ]
තම පියාගේ අකල් වියෝවෙන් පසු ගෘහ පලිකවක වන සිය මව සමඟ පිටිසර බද මහා මන්දිරයකට යන ජේන් එහි වූ රහස් කාමරයක් දැක එහි ඇතුල්වන ආකාරයක් සිතයි.
අතිශය පෞරාණික භාණ්ඩ වෙළෙන්දෙක් වූ නිවෙස් හිමිකරු නැති වෙලාවක් බලා ඈ එහි ඇතුල් වෙයි. ඈ ඔහුගේ අතටම අසුවෙයි.
පෞරාණික භාණ්ඩ ගැන ඇල්මක් ඇති කරගන්නා ඈ ඒ පිළිඹඳ හැදෑරීම ආරම්භ කරයි.
මේ අතර ඈ නිවෙස් හිමිකරුගේ ඥති පුත්‍රයෙකුගේ නුරා බැලුම් වලට හසුවෙයි.
ලන්තෑරුම් දහසේ නිවහන වෙත යාමට වරම් ලද ඈ එහි ඇති එක්තරා අභිරහසක සුල මුල පසු පස හඹා යයි.
මාර පොතක්, ඉක්මනට හොයාගෙන කියවන්න ඕනි කියල මේ ටික කියවනකොට ඔයාලට හිතෙයි.
ඒත් මට නම් මේක සිරසේ " මහ ගෙදර " වගේ. (එකට කැමති ඈයෝ ඉන්නවනම් සමාවෙන්න ඕනි)
කතෘ කුතුහලය ඇවිස්සෙන විදියට කතාව ලියල නෑ. වෙන දෙයක් ඕනි නෑ මේ ලන්තෑරුම් දහසේ නිවහනට කට්ටිය යන්නෙත් පොතේ මැද හරියේදි. පොඩි අභිරහසක් තියෙනවා නම් තමයි. ඒත් ඒක මුලික කරගෙන නෑ. වෙන වෙන සිද්දි ඉස්මතු වෙනවා වැඩියි. කොටින්ම කිව්වොත් එක සිද්දියක්වත් හරියට ඉස්මතු වෙන්නේ නෑ. හැබැයි වට්ටෝරු කතා කියවන කෙනෙක්ට නම් හොදයි. ඒක හන්ද මං මේකට දෙන්නේ 6/10 යි.
පොත කියවන්න ඕනි නම් මෙතැනින් එහාට කියවන්න එපා...
මහගෙදර වගේ මේ කතාව කෙටියෙන් කිව්වොත්...
කොල්ලයි කෙල්ලයි යාලු වෙනවා. ඊට පස්සේ කළුවරේ ජරමරේ. පස්සේ කොල්ලගේ පරණ සීන් එකක් ගැන කෙල්ල දැනගන්නවා. කෙල්ල අපහු ගෙදර එනවා. මළා. කලින් දවසේ කොල්ලට රේන් කෝට් දාන්නත් අමතක වෙලා. කෙල්ල පෙත්ත ගහලත් නෑ. ( මේ කාලේ ඒවා තිබ්බේ නැද්ද දන් නෑ ) කෙල්ල බඩ වෙනවා. දැන් මිනිස්සු අහනකොට තාත්ත කෝ කියල මොනවද කියන්නේ...! ගෙදර ලොකු මහත්තය කියනවා දරුවා එයාගේ කියල. පස්සේ දෙන්න බැඳලා ලන්තෑරුම් ගෙදරට යනවා. අන්තිම පිටු ටිකේදි පොඩි අභිරහසක් විසඳෙනවා.
මේක මගේ අදහස. ඔබේ අදහස් දැක්වීම් වලට විවෘතයි..

Thursday, April 23, 2015

තවත් ඉසව්වක් කරා...

තවත් අලුත් බ්ලොග් කට්ටක් අටවා ගත්ත. දැන් ටිකක් කල්... :-)

ඒ පැත්තටත් ඇවිත් යන්න එන්න...

http://doczdiery.blogspot.com/

Sunday, April 19, 2015

අපේ ගමේ විත්ති - පියසේන කහඳගමගේ


ගම්බද සිරියාව අපුරුවට මනසෙහි සිත්තම්වන ගෙත්තමක්...

වියැකී ගිය පැරණි ගමක පැවති සොඳුරු වූ ආශ්වාදය යලිත් විඳගන්නට නගරබදව කාර්යබහුල ජිවන රටාවකට හුරුවූ ඔබ බොහෝදෙනෙක් එක සිතින් මනාප ඇති.

වැව අද්දර කජු සෙල්ලං කර මහන්සි වූ විට පින්තලියෙන් පැන් පොදක් තොල ගාන්නට...

සුවාරිස් මුත්තාගේ පිඟානෙන් බතල කා රුකඩ සෙල්ලම් බලන්න යන්ට...

පෙරහැර බලා සල්පිලෙන් බඩු ගන්න...

කරත්ත කාරයින්ගේ කඩෙන් තේ බී කිතලගමට නෑගම් යන්ට...

තවත් අටුවා ටීකා මොටද...

කහඳගමයන්ගේ මේ සොඳුරු රචනය අදින් වසර හැටකට පමණ එහා වූ සොඳුරු ගම්මානයකට නෑගම් යාමට අවැසි ඔබ සඳහාමයි...

Tuesday, April 14, 2015

සුරිය කුසුම - චුලාභය ශාන්ත කුමාර හේරත්

එක හුස්මට කියවා අවසන් කල පොතක් පැයක් ගතවීමටත් මත්තෙන් යලිත් අතට ගෙන තවත් වරක් එක හුස්මට කියවා ඉවර කොට තිබේද??? මේ මං එහෙම කියවපු පොතක්...

තම මා පියන්, නෑ හිත මිතුරන් කොහේ සිටී දැයි කිසිදා නොදත් ඈ ඒ දක්වා වාසය කළේ එවැන්නන් සඳහා ම වෙන් වූ නිවස්නයක ය. එකී නිවස්නයේ එක්තරා නීතියක් වෙයි. එහි කිසිවෙකු වයස අවු: 21 සම්පුර්ණ කරයි ද ඕ කොළොම්තොට වූ ප්‍රධාන නිවස්නය වෙත ගොස් එහි අනුදැනුම යටතේ ස්වාධීන ජිවිතයක් ඇරඹිය යුතුය.

අපගේ කතා නායිකාව සිය විසි එක්වන ජන්මදිනයට පා තබන ඒ සොඳුරු දිනය වෙත කතෘතුමන් අපව රැගෙන යයි. ඈ එදින උදෑසනින් ම පාලිකාව වෙත කැඳවෙයි. ස්වකීය විස්තර අඩංගු ලිපිගොණුව ඈ අතට දෙන පාලිකාතෙමෝ එය කොළඹ නිවස්නයට භාරදෙන ලෙස පවසයි.

නිකමට මෙන් ලිපිගොණුව පෙරළා බලන ඈ දකින්නේ සුරියපුර අධිකරණයෙන් නිකුත් කල ඇගේ උප්පැන්න සහතිකයි. එකෙනෙහිම පැන නඟින තමන් කාගේ කවුරුන්දැයි කියා සොයා යාමේ හදිසි ආශාවකින් ඈ සිත වෙලා ගනියි.

කතාව අති ධාවනකාරී හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක විලාශයකට එළඹෙන්නේ එතැන් සිටය.

තමන් ගැන වද නොවන ලෙස ලිපියක් ලියා තබනා ඈ එදින මධ්‍යම රාත්‍රියේදී නිවස්නයෙන් පැනයයි. සුරියපුරය වෙත යන රාත්‍රී තැපැල් දුම්රියට අල්ලාගනු පිණිස ඈ පාළු වී ගිය මාවත් ඔස්සේ අඳුරේම දුම්රිය ස්ථානය වෙත පිය නඟයි.  

මේ අතර මධ්‍යම රාත්‍රියේදී  තනිවම ගමන් ගන්නා ඈ දකිනා මුර සංචාරයේ යෙදෙන පොලිස් භටයන් දෙදෙනෙක් සැක සිතී ඈ පසු පස ලුහුබඳියි.

ඔවුන්ට පෙර දුම්රිය ස්ථානය තුළට රිංගා ගන්නා ඈ අසුනක තනිවම ඉඳගෙන සිටිනා තරුණයෙකු දැක ඔහු අසලින් හිඳ ගනියි. පොලිස් භටයන් පැමිණි විට තමන් සිය නැගණිය ලෙස හඳුන්වාදෙන ලෙස ඈ ඔහුට බැගපත් වෙයි.

මෙම තරුණයා මාධ්‍යවේදියෙකු බවද සුරිය පුරය බලා ගමන් කරන්නෙකු බවද දැන ගන්නා ඈ තම මව්පියන් සොයා ගැනීම සඳහා ඔහුගේ උදව් පතයි.

සුරියපුරයෙහි සිදුවන මහා වන සංහාරය පිළිබඳ ලිපියක් සැකසීමට එහි යන මෙම තරුණ මාධ්‍යවේදියා ඈ ට උදව් කිරීමට නොපැකිලව ඉදිරිපත් වෙයි.

ලිපිකරුවකු හරහා ඇගේ උප්පැන්න සහතිකයට අදාල අධිකරණ වාර්තා ලබාගන්නා ඔවුන් ඉන් ලබාගන්නා තොරතුරක් අනුව දෙමළ ලයිම් කාමරයක් සොයා යයි.

මේ අතර මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් පසුපස හඹා යන තරුණ මාධ්‍යවේදියා ඔවුන් පිලිබඳ වැදගත් තොරතුරු රැසක් පොලිසිය හමුවේ තබයි. මේ බව දැනගන්නා ජාවාරම්කරුවන් ඔහු හා උරණ වෙයි.

හදිසියේම, ඈ හමුවුණා යැයි කියවෙන දවසේම වැන් රියක් තුල සිදුවූ ත්‍රිත්ව ඝාතනයක් ගැන තොරතුරක් ලැබෙයි.

ලොමු දැහැ ගැන්වෙන සටන්, ත්‍රාසජනක ලුහුබැඳයාම්, හෙළි කරගැනීමට වෙර දරන අභිරහස් අතරේ අතරමන් වන පාඨක අප හීන් සීරුවේ ගලා යන සොඳුරු ආදර කතාවක කොටස් කරුවන් වීමට ද සිදුවේ...

විටෙක ඈ ඔහුට කෝළ කම් කරයි. විටෙක ඈ ඔහුගේ උර තලය මත සීරුවෙන් සැතපෙයි, තවත් විටෙක ඈ ඔහුත් සමඟ එකම නිවහනක වාසය කරයි...

පසු දිනෙක රාත්‍රියේ ගිනි අවි අත දරාගත් කුලී ඝාතකයන් පිරිසක් මෙම නිවහනට පැමිණෙයි.

බිහිසුණු දිනෙක රාත්‍රියේ දී දුරස්ථ පාලකයකින් ක්‍රියා කරවිය හැකි පටිගත කිරීමේ යන්ත්‍රයක් සැකකරුවන්ගේ නිදන කාමරයේ සැඟවීමට ඈ සමත් වෙයි.

බලාපොරොත්තු නොවන මොහොතක සැකකරුවෙක් ඈ හඳුනාගනියි.

මේ සියල්ල අතරේ ඈ සිය අවසන් ඉලක්කය වෙත ක්‍රමයෙන් ළඟාවෙයි...

ඔබ Dan Brown, James Hadley Chase, Edgar Rice Burroughs( Tarzan ) වැන්නෙකු ලියු ත්‍රාසජනක නවකථා කියවා තිබේද??? එක් පරිච්චේදයක් කුතුහලය දනවන තැනකින් අවසන් කරන රචකයා ඊළඟ පරිච්චේදය පටන් ගන්නේ එතැනින් නොව වෙනස්ම ඉසව්වක සිදුවන සිද්දි දාමයකිනි. කතාවේ අවසන් භාගය වෙද්දී මෙකි සිද්ධි දාමයන් සියල්ල එකිනෙක පැහි එකම ඉසව්වකට යයි... මේ ශෛලියෙන් ම උක්ත ලෝ ප්‍රකට ලේඛකයන්ට නොදෙවනිව ලියැවුණු සුරිය කුසුම තවත් වරක් එක හුස්මට කියවන්නට ඔබට ද
සිතෙනු ඇත.

Sunday, April 5, 2015

මල්ලිගේ විත්ති - ගුණදාස ලියනගේ

ඔබ වැඩිම වාරයක් කියවා ඇති පොත කුමක්දැයි කවුරුන් හෝ ඇසුවහොත් ඔබේ පිළිතුර කුමක්ද? මේ තමයි මගේ පිළිතුර. :-)

කෙටි කතා සමුච්චයකින් ගොඩ නැංවෙන මේ මහා කතාන්දරයේ ගැබ්ව ඇති සොඳුරු ගැමි සුන්දරත්වය සහ සරල හාස්‍ය රසය, ඔබව වෙනත් ලොවක් වෙත රැගෙන යාවි.

ඒ හැටේ දශකයයි. ස්ථානය අද දවසේ පවතී දැයි සැක සහිත සොඳුරු ගම්මානයකි.

රසකතා සියල්ල පාඨක අපට පවසන්නේ ඉස්කෝලේ තුන වසරේ පමණ සිටී යැයි සිතිය හැක්කෙකි.

ඔහු හා ඔහු වටා සිටි පිරිස මුහුණ දෙන ඇබැද්දි, සිදු කරන්නට යෙදෙන හපන්කම් ඔබව සිනා සයුරක ගිල්ලාවි.

දිනක් රාත්‍රියේ ඔහු බණ ගෙදරක යයි. හාමුදුරුවන්ගේ කාමරයට පැමිණෙන බල්ලන් එළවීම ඔහුට බාර වෙයි. ඔහුට තද නිදිමතක් දැනෙයි. වට පිට බලනා ඔහු හාමුදුරුවන් සඳහා පිළියෙළ කර ඇති ඇඳ දකියි. මදක් ඇලවෙන්නට සිතන ඔහු ඇඳට ගොඩවෙයි. ටික වෙලාවකින් සැර පරුෂ හාමුදුරුනමක් කාමරයට වඩියි.

තවත් දිනෙක පාසලේදී බලෙන් පොරක් වෙන්නට දත කන්නෙකුට පාඩමක් ඉගැන්වීමට සිතයි. පාසල් ගෙවත්තේ වැඩ කිරීමට අනිත් අයට පෙර සැමදාම පාසැල වෙත යන මෙම 'පොර' උදැසනම ගබඩා කාමරය ඇර උදලු ආදිය ලබාගනී. දිනක් මෙම පොර පැමිණීමට පෙර පාසැල වෙත යන අපගේ කතා නායකයා බාල්දියකට ගොම දියකර දොර අරින විට ඔහුව නැහැවී යන පරිද්දෙන් දොර උඩින් ගොම බාල්දිය තබයි. තවත් සුළු මොහොතකින් 'පොර' ගොමවලින් නැහැවී යනු දකින රිසියෙන් ඔහු අසල තුරු වදුලක සැඟවෙයි. අවාසනාවක මහත... විදුහල්පතිතුමා ගබඩා කාමරය තුළට පිවිසෙයි.

මෙවන් සොඳුරු ළමා කාලයක් ගතකරන කතා නායකයා පසු කලෙක නගරයේ පාසැල වෙත යයි. එහි දී බෝඩින් ගතවන ඔහු තවත් හපන්කම් රාශියක සොදුරු සුවඳ අත්විඳියි.

චිත්තර මහත්තයා, නයි මිරිස්, දොර දිගේ යාම, සීනිබෝල වෙදා ආදී විවිධ රස කතා මවනා සොඳුරු ලොවක අසිරිය මා කෙසේ නම් විඳගන්න ද... :-(